Saturday, October 29, 2016

මුරුංගා වගා කිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න


මුරුංගා, Moringa oleifera යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ.  මුරුංගා කොළ සහ කරල්වල ඉහළ පෝෂණ ගුණයක් තිබෙනවා. නමුත්, ගබ්සා සිදුවිය හැකි බැවින්, ගර්භනී මාතාවන්ට නිතර ආහාරයට ගැනීම සුදුසු නොවේ. සුළු වියදමකින් හා අවම නඩත්තුවකින් ඉහළ ලාභයක් මුරුංගා වගාකිරීමෙන් ලබගත හැකි වේ.





1. අවශ්‍ය දේශගුණය

මුරුංගාවල මල් පිපීම සදහා වියළි කාලයක් අවශ්‍ය වෙනවා. සෙල්සියස් අංශක 25-30 අතර උෂ්ණත්වයේදී මල් හට ගැනීමට සිදුවේ.  නියඟ කාලවලදී , අඩු ජල ප්‍රමාණයකින් වගාව පවත්වාගත හැකිවීම විශේෂත්වයකි .



2. පස

හොඳින් ජලය බැස යන වැලි හෝ ලෝම පසක් අවශයි. නිසරු ඉඩම් වලත් හොඳින් වගා කල හැකිය. පීඑච් අගය 6.2 - 7 අතර හොඳින් වගා කල හැක.



3. බීජ තවාන් කිරීම


හෙක්ටයාර එකක් සදහා බීජ කිලෝ එකක් අවශ්‍ය වෙනවා. සිටුවීමට පෙර බීජ රැයක් ජලයේ පෙඟීමට හරින්න. බීජයේ පිටත පොත්ත ඉවත් කර මදය පමණක් සිටුවන්න. බීජ කෙලින්ම කේෂ්ත්‍රයේ සිටුවිය හැකිය. එසේ නොමැතිනම්,  බදුන්වල සිටුවා පසුව කේෂ්ත්‍රයේ සිටුවන්න.  සෙ.මී. 18 ක් උසින් යුත් හා සෙ.මී. 12 ක පළලින් යුත් පොලිතීන් බදුන් සකස් කර බඳුනේ පහ කොටසේ සිදුරු කිහිපයක් විදින්න. පස් කොටස් 3 ට වැලි එක් කොටසක් එක් කර කලවම් කර බදුන් පුරවා ගන්න. සෙ.මී. 2 - 3 ක් පමණ ගැඹුරින්, බීජ 2-3 ක් එක් බඳුනක සිටුවන්න. බඳුන්වල නිතර තෙතමනය තිබිය යුතුය. නමුත් වැඩපුර වතුර යොදන්න එපා. දින 5-10 කදී බීජ පැලවේ. වරඩිපුර ඇති පැල ගලවා ඉවත් කර, නීරෝගී හොද පැලයක් එක් බදුනක ඉතිරි කරන්න. පැල සෙ.මී. 60-90 ක් පමණ උස් වූ විට කේෂ්ත්‍රයේ සිටුවන්න. පැල සිටුවන විට, බඳුනේ අඩිය කොටසේ පොලිතීනය කපා බඳුන සමගම සිටුවන්න.



4. කේෂ්ත්‍රයේ සැකසීම

පළමුව පස පෙරලන්න. ඉන්පසු පැල අතර පරතරය මී. 3 x3 වන සේ සෙ. මී. 50 x 50 x 50 ප්‍රමාණයේ වලවල් කපන්න. එක් වලකට කොම්පෝස්ට් හෝ කාබනික පොහොර කිලෝ ග්රෑම් 5 ක් යොදා මතුපිට පස් සමඟ කලවම් කර වල පුවා ගන්න. පැල සිටුවීමට පෙර වලවල් වතුරින් පුරවන්න. එසේ නොමැතිනම් වර්ෂා කාලයේ දී පැල සිටුවන්න. පළමු දින කිහිපයේ දී වැඩිපුර වතුර යොදන්න එපා. පැල කෙලින් තැබීමට සෙ.මී. 40 ක් උස කෝටු සිටුවා එයට පැලය බැඳ තබන්න. වලවල්වලට වතුර පුරවා, ඉන්පසු බීජ කෙලින්ම සිටුවීම ද කල හැකිය. හෙක්ටයාර එකකට පැල 1111 ක් අවශ්‍ය වේ.


5. අතු පැල කිරීම
දිග සෙ.මී. 45 -  මී. 1.5 දක්වා වූ, සෙ.මී. 10 පමණ මහත, මේරූ අතු සිටුවීම සඳහා යොදා ගැනේ. අත්තේ 1/3 ක් පමන පසට යට කරන්න. මැටි වැඩි සහ තෙතමනය වැඩි පස්වල මුල් මැරී යා හැකිය. අතු, බඳුන් වල සිටුවන්නේ නම්, ටීඑස්පී පොහොර ස්වල්පයක් බඳුන් වලට එක් කරන්න. මාස 2-3 කින් පසු කේෂ්ත්‍රයේ සිටුවිය හැකිය.



6. පොහොර යෙදීම

මුරුංගා සඳහා එතරම් පොහොර අවශ්‍ය නොවේ. පැල සිටුවීමට දින 8-10 කට පෙර කාබනික පොහොර හෝ ගොම කිලෝ ග්රෑම් 5-10 ක් එක් වලකට යොදන්න. පැල සිටුවීමේ දී සහ ඉන් පසු මාස හයෙන් හයට යූරියා ග්රෑම් 100 ක්, ටීඑස්පී ග්රෑම් 100 ක් සහ එම්ඕපී ග්රෑම් 85 ක් එක් පැලයකට යොදන්න. හෙක්ටයාර එකක වගාවක් සඳහා මාස හයකට වතාවක් යූරියා කිලෝ ග්රෑම් 110 ක්, ටීඑස්පී කිලෝ ග්රෑම් 110 ක් සහ එම්ඕපී කිලෝ ග්රෑම් 85 ක් යොදන්න.



7. ජලසම්පාදන

වැඩිපුර ජලය අවශ්‍ය නොවේ. වියළි කාලවල දී පළමු මාස දෙකේදී ජලය යොදා ඉන්පසුව අවශ්‍ය නම් පමණක් ජලය යොදන්න. ගසට අවශ්‍ය ප්‍රමාණයට ජලය ඇති විට මල් හට ගැනීම සිදුවේ. වියළි කාලවලදී ජලය සැපයීමෙන් මල් හට ගැනීම උත්තේජනය කල හැකිය. සති දෙකෙන් දෙකට වතුර යොදන්න. දිනපතා ජලය සපයන්නේ නම් එක් පැලයකට ලී.12-16 දිනකට යොදන්න.



8. ගස් කප්පාදු කිරීම

අවුරුදු 1 1/2 ක් පමන වූ විට, බිම සිට අඩි 3 ක් පමණ උසින්, අතු 4-5 ක් ඉතුරු කර උඩ කොටස කපා දමන්න.



9. රෝග හා පළිබෝධ හානි

මුරුංගා ගස බොහෝ පළිබෝධකයින්ට හොඳින් ඔරොත්තු දේ. ජලය බැසයෑම දුර්වල නම්, මුල් කුණුවිය හැකිය. මේ නිසා වතුර රැදෙන තැන්වල පස උස් කර සකසා ඒ මත පැලය සිටුවන්න. ඌරන්, ගවයන් ආදි සතුන්ගෙන් හානි වන නිසා, ග්ලිසීරියා වැනි වැටක් සකසා ගත යුතු වේ.



10. අස්වනු නෙලීම

කරල් සෙ.මී. 1 ක් පමණ මහත් වූ විට, කරල් නෙලා ගන්න. ලපටි පැල, දළු හා නොමේරූ පත්‍ර ද, කොළ එලවළුවක් ලෙස ආහාරයට ගැනේ. හෙක්ටයාර එකකට කරල් ටොන් 50 -55 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. එක් ගසකින් වර්ෂයකට කරල් 200 ක් පමණ කඩා ගත හැකිය.


 



Moringa Cultivation in Sri Lanka


Moringa is one of the famous vegetable in Sri Lanka. But most of moringa plants are in wild form or as volunteer plants. In Sinhalese it called as “ Murunga” in English called "Drumstick". In Ayurvedhic medicine, Moringa use to treat more than 45 disease of human. Moringa can be grown in marginal lands using minimal inputs. 

No comments:

Post a Comment