Friday, October 14, 2016

අඹ ගසක් නිවැරදිව සාදා ගන්නේ කෙසේ ද ?

ආචාර්ය පී.ඩී. අබේතිලකරත්න



අඹ ඉතාමත් රසවත් මෙන්ම පෝෂ්‍යදායී පළතුරක්.  ගෙවත්තක අඹ පැල කිහිපයක් සිටුවීමට හැකි නම්, සුන්දර මෙන්ම සිසිල් පරිසරයක් ඉතා පහසුවෙන් නිර්මාණය කර ගත හැකි අතර එයින් කිසිදු වියදමක් නොමැතිව නැවුම් පළතුරක් ද ලබා ගත හැකිය. අඹ ගස් විශාලව වැඩෙන නිසා නිවාසවලට ඉතා ආසන්නව සෑදීම යෝග්‍ය නොවේ. වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අඹ ගස් නිසි අයුරින් කප්පාදු කිරීම සහ පුහුණු කිරීම අවශ්‍යයි. ඒ වගේම නිසි අයුරින් ගස් පුහුණු කිරීම මගින් අපට අවශ්‍ය ප්‍රමාණයට ගස් සකසා ගැනීමේ හැකියාව ඇත. තවද නිවැරදිව අඹ ගසක් පුහුණු කිරීම නිසා ශක්තිමත් ගසක් සාදා ගත හැකි අතර අස්වනු නෙළි‍ම හා අනෙකුත් කටයුතුවල පහසුවහොදින් සූර්යාලෝකය ගසට ලැබීම, වැඩි අස්වැන්නඉක්මනින් වර්ධනය වීම, කලින් ගෙඩිහට ගැනීම  වැනි වාසි ද ලබා ගත හැකිය.



1. අඹ පැලයක්  කප්පාදු කිරීම

අඹ පැලයක් අඩි 3-4 ක් පමණ උසට වර්ධනය වූ විට, මුදුන් රිකිලි කපා ඉවක් කල යුතුය. මෙසේ කප්පාදු කිරීමේ දී බද්ධ අඹ පැලයක නම්, බද්ධ සංධියට උඩින් කප්පාදු කිරීම ඉතා වැදගත්. මුදුන් රිකිලිවල අගල් 6-10 ක් පමණ යටින්, අක්‍රිය අංකුර සමූහයක් ඉතාමත් ආසන්නව පිහිටීමෙන් ගැටයක් වැනි කොටසක් දැක ගත හැකිය. මෙම ගැටය, අන්තරස්ථාපනය ලෙස හැදින් වේ. කුඩා අඹ පැල කප්පාදු කිරීමේ දී, මෙවැනි ගැට දෙකක් හෙවත් දෙවන අන්තරස්ථාපනයට උඩින් කප්පාදු කිරීම ද ඉතා වැදගත්ය. මෙම අන්තරස්ථාපනයට ආසන්නව උඩින් කප්පාදු කල විට පාර්ශ්වික අතු 6-10 ක් සෑදෙන අතර අන්තරස්ථාපනයට යටින් කප්පාදු කල විට පාර්ශ්වික අතු 2-4 ක් හට ගනී.



2. පැල ගස්වල අතු අග කප්පාදුව

ඉන් පසු මාස 3 ට වරක්, විෂ්කම්භය සෙ.මී. 1 ට වඩා අඩු අග රිකිලි  පළමු අන්තරස්ථාපනයට ආසන්නව උඩින් කප්පාදු කිරීම මගින් මල් හට ගන්නා අතු විශාල ප්‍රමාණයක් ලබා ගත හැකි වේ. අතු අග කප්පාදුව මගින් පාර්ශ්වික අතු ලබා ගැනීම මෙන්ම කලින් මල් හට ගැන්වීමත් සිදු වේ. ඒ වගේම, දැඩි කප්පාදු කිරීමක දී ඉක්මනින් ගස් යථා තත්වයට පත් කර ගැනීමට ද මෙම කප්පාදුව ඉවහල් වේ.



3. වැඩි අතු කපා ඉවත් කිරීම

අඹ ගස් කප්පාදු කිරීමේ දී, එල්ලී තිබෙන අතු, ආලෝකය නොලැබෙන අතු, රෝගී හා හානි වී ඇති අතු සහ දුර්වල හා කුඩා අතු කපා ඉවත් කල යුතුය.



4. වැඩුණු ගස්වල අතු අග කප්පාදු කිරීම

අඹ ගස්වල ඉතා වැඩි වර්ධනයක් පවතින විට මල් හට ගැනීම සිදු නොවේ. ඒ නිසා අවුරුද්දකට 3-4 වරක් අතු අග මල් හෝ ගෙඩි නොමැති රිකිලි කපා ඉවත් කල යුතුය. කප්පාදු කල අතු මාස 4-5 ක් අක්‍රියව පවතී. අවශ්‍ය ප්‍රමාණයට ජලය සහ නයිට්‍රජන් ( පත්‍රවල නයිට්‍රජන් ප්‍රමාණය 1.1-1.4 % පමණ) ඇති විට අළුත් දළු හට ගනී.



5. ගස් හැඩ ගැස්වීමේ කප්පාදුව

අඹ ගස් ඉතා උස්වීම පාලනය කිරීම සදහා ඔබට අවශ්‍ය උසට වඩා මී. 1 ක් පමණ පහළින් අතු කැපීම සිදු කෙරේ. මෙම කප්පාදුවේ දී, විෂ්කම්භය සෙ. මී. 2- 10  ක් පමණ ප්‍රමාණයේ අතු ඉවත් කරයි.



6. මල් හට ගැන්වීම

සමහර අඹ වර්ගවල ස්වාභාවිකව මල් හට ගැනීමක් සිදු නොවීම හෝ මල් පොකුරු කිහිපයක් පමණක් හට ගැනීම දක්නට ලැබෙනවා. සීතල කාලවල දී මල් හට ගන්නා අතර ගසට ජලය සැපයීම සීමා කිරීමෙන් මල් හට ගැනීම උත්තේජනය කළ නොහැකියි.  උෂ්ණකාලවල දී පොටෑසියම් නයිට්‍රේට්, කැල්සියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රේට් හෝ එතපෝන් පත්‍ර මතට යෙදීමෙන් අංකුර වැඩීම උත්තේජනය කිරීම මගින් කෘත්‍රීමව මල් හට සිදු කල හැකිය. මේ සදහා අතු අග රිකිලි කප්පාදු කර මාස 5 ට පමණ පසු, උෂ්ණ කාලයක දී පොටෑසියම් නයිට්‍රේට් හෝ  N:P:K 13-2-44 පොහොර  4% (ජලය ලීටරයකට, පොටෑසියම් නයිට්‍රේට් ග්‍රෑම් 40 ක් දිය කල මිශ්‍රණය) යෙදීමෙන් මල් හට ගනී. පොටෑසියම් නයිට්‍රේට් පත්‍රමතට යෙදීමේ දී පත්‍ර කහ පැහැ ගැන්වී පසුව කොල පැහැ වේ. අඹ ගස්වලට ඉහත රසායනික ද්‍රව්‍ය යෙදීමට පෙර අතු කිහිපයකට ඉස පරීක්ෂා කර බලන්න. පත්‍ර පිලිස්සී යන්නේ නම්, වැඩිපුර ජලය එකතු කර රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය තව අඩු කර යොදන්න.
 


7. දැඩි කප්පාදුව

ඵල හට නොගන්නා, විශාල අඹ ගස් වල අඔ ගස්වල,  මී. 1.5 ක් පමණ උසින්  කද කපා දැමීම මගින් නැවත කුඩා අඹ ගසක් සාදා ගත හැකිය. ඉන් පසු, අළුත් රිකිලවල අග කොටස කප්පාදු කිරීම මගින් වැඩි අතු සංඛ්‍යාවක් සහ මල් සංඛ්‍යාවක් ලබා ගත හැකි වේ.



7 comments:

  1. මෙ අඹ බද්ද කරනකොට එකට ගල්වන්න හොර්මෝන මොනවාද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අඹ බද්ද කිරීමේ දී හෝමෝන ගැල්වීමක් අවශ්‍ය නොවේ

      Delete
  2. දැඩි කප්පාදුවක දී කප්පාදු කරන ලද ස්ථානයට යොදන ද්‍රාවණය සදාගන්නේ කෙසේද?

    ReplyDelete
  3. බට් අඹ පැලේකට දැමිය යුතු පොහොර මොනවද?

    ReplyDelete
  4. අල්පොන්සු අඹ පැලයකට පොහොර යොදන ආකාරය වගුවකින් පැහැදිලි කරන්න..

    ReplyDelete