Friday, October 14, 2016

ස්ට්‍රෝබෙරි වගා කිරීම

ආචාර්ය පී.ඩී අබේතිලකරත්න.

ඉතා ප්‍රනීත රසයෙන් යුත් ස්ට්‍රෝබෙරි , කෙටි කලකින් අස්වැන්නක් ලබා ගත හැකි පළතුරු බෝගයක්.



1. අවශ්‍ය දේශගුණය

සීතල ප්‍රදේශවල ඉතා සාර්ථකව ස්ට්‍රෝබෙරි වගා කල හැකිය. මල් පිපීම සඳහා පැය 8 ට අඩු සූර්යාලෝකය ලැබෙන දින 10 ක් පමණ අවශ්‍යයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-35 ක් දක්වා වගා කල හැකිය. සෙල්සියස් අංශක 14-15 උෂ්ණත්වය දී හොඳින් මල් පිපීම සිදු වේ. සෙල්සියස් අංශක 28 ට වැඩි වූ විට මල් පිපීම සිදු නොවේ.



2. වගා බදුන් සකසා ගැනීම

මේ සඳහා අඟල් 8 ප්‍රමාණයේ උස අඟල් 6 ක් වන පොලීතීන් මළු වල යටින් අඟලක් පමණ උඩින් සහ අඟල් දෙකක් උඩින් සිදුරු පේලි දෙකක් විදින්න. කොහුබත් සහ වැලි සමාන ප්‍රමාණවලින් ගෙන, එයින් ලීටර් ක් එක වගා බඳුනකට දමන්න. මෙම බඳුන්වල ධාවක වලින් වෙන් කරගත් පැල සිටු වන්න. පැල සිටුවීමේ දී පැලයේ රිකිල්ල යට නොවන ලෙසත් මුල් ඇති කොටස හොඳින් වගා මාධ්‍යයට යට වන ලෙසටත් පැල සිටුවන්න. පැල සිටුවා දින 20 සිට පොහොර මිශ්‍ර කල ජලය යොදන්න. මේ සඳහා ඇල්බට් දියර පොහොර ග්රෑම් එකක් ජලය ලීටර් එකක දියකර හෝ ඇල්බට් පොහොර ගිනි පෙට්ටි පියනකින් එකක් වතුර ලීටර 10 ක දියකර උදේ සවස එක් බදුනකට එයින් මිලි ලීටර 100-200 ක් පමණ යොදන්න.



3. ජල සම්පාදනය කිරීම

පැල සිටවු පසු දිනකට ජලය මිලි ලීටර 200-400 ක් පමණ එක් බදුනකට අවශ්‍යයි. පැල සිටුවා දින 20 න් පසුව ඉහත දියර පොහොර මිශ්‍ර ජලය යොදන්න.




4. ස්ට්‍රෝබෙරි බීජ මඟින් පැල සාදා ගැනීම


හොඳින් රතු පැහැ වු ස්ට්‍රෝබෙරි ගෙඩි වෙළඳපොළෙන් මිළ දී ගෙන පැන්සල් තුඩක් යොදා ගෙන ගෙඩියේ බාහිරෙන් පිහිටා ඇති ඉතා කුඩා බීජ වෙන් කර ගන්න. මෙම බීජ හොඳින් සෝදා පවනේ වියළීමට තබන්න.ඉන් පසු බීජ කඩදාසියක ඔතා බෝතලයකට හෝ පොලිතීන් මල්ලකට දමා සීල් කර ශීතකරණයේ අධි ශීත කොටසේ සති දෙකක් තබන්න. ඉන් පසු ටිෂූ කඩදාසියක් මත බීජ තබා ආලෝකය වැටෙන සේ අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික් කුඩා බෝතලයකට හෝ භජනයක දමා වතුරෙන් ටිෂූ කඩදාසිය තෙත් කරන්න. ඉන්පසු මෙම බෝතලය ආලෝකය වැටෙන තැනකින් හෝ ජනේලයන් ලඟ තබන්න. මාසයක් පමණ වන විට බීජ පැලවේ. මෙම කුඩා බීජ පැල කොහුබත් හා වැලි සමාන කොටස් වලින් ගෙන එකට මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණයක් පුරවාගත් කුඩා පොලිතීන් මළුවල හෝ බදුන්වල සිටුවන්න. පැල මැලවීමෙන් වළකා ගැනීම සඳහා සති දෙකක් පමණ අවර්ණ පොලිතීන් කවරයකින් පැල සිටවූ බදුන් වසා තබන්න. මෙම පැලවලින් හට ගන්නා ධාවක වල සෑදෙන අංකුර පැල, මව් ශාකයෙන් වෙන් නොකර වෙනත් වගා බදුනක සිටුවන්න.




5. පැල නඩත්තු කිරීම

පැල සිටුවා මාසයක් පමන වන තෙක් මල් ඉති හා ධාවක කඩා ඉවත් කරන්න. ඉන් පසුව හට ගන්නා ධාවක ඉවත් කරන්න. පරණ පත්‍ර හා රෝගී පත්‍ර ඉවත් කරන්න. විශාල මල් ඉතිරි කර කුඩා මල් ද ඉවත් කරන්න. මල් පරාගණය කිරීම සඳහා මී මැස්සන් පැමිණීම ඉතාමත් අවශ්‍යයි. එසේ නොමැති නම් කුඩා බ්ලෝවරයක් යොදා ගෙන මල් පරාගනය කරන්න.




6. අස්වනු නෙළීම

ගෙඩියෙන් තුනෙන් දෙකක් පමණ රතු පැහැ වූ විට අස්වනු නෙලා ගත හැකිය. එක් පැලයකින් එක් කන්නයක දී ග්රෑම් 500 ක් පමණ අස්වැන්නක් ලැබේ.







රෝග පාලනය ඇප් එක මෙතනින් බාගත කරන්න

No comments:

Post a Comment