Thursday, October 13, 2016

දම් පැහැති වැල් දොඩම් වගා කිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න


දම් පැහැති වැල් දොඩම් Passiflora edulis f. edulis යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වයි. වැල් දොඩම්වල හොඳ පෝෂණ ගුණයක් සහ හොඳ ඹෟෂධීය ගුණයක් තිබෙනවා. වැල් දොඩම් දළු තැම්බූ  වතුර දියවැඩියාව, අධිරුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස් වැනි රෝග පාලනය කිරීමට අත් බෙහෙත් වශයෙන් යොදා ගනියි. මදය ඉවත්කල ගෙඩිවල පොත්ත, සිහින් කැබලිවලට කපා උණු වතුර දමා රැයක් තබා ආතරයිටීස් රෝගය සදහා බීමට ගනී.


නොමේරූ  ගෙඩිවල සයනොජනික් ග්ලුකොසයිඩ් නම් විෂ සංයෝයක් ඇති නිසා නොමේරූ ගෙඩි ආහාරයට ගැනීම සුදුසු නැහැ. කොළ ආහාරයට ගැනීමේ දි මඤ්ඤොක්කා කොළ සකසන කාරයට කොටා හොඳින් තම්බා ගැනීමෙන් විෂ තත්වය නැති කර ගත හැකි වේ. අපගේ ශරීරයට විටමින් සී ගබඩා කර තබා ගත නොහැකි නිසා දිනපතා පළතුරු ග්රෑම් 200 ක් පමණ ආහාරයට ගත යුතු වෙනවා.


1. වැල් දොඩම් පැල සාදා ගැනීම

අංකුර තුනක් පමණ තිබෙන දඩු කැබලි තවානක සිටුවා පැල කර ගත හැකිය. වානිජ වගාවන්බ සදහා බද්ධ පැල යොදා ගැනීම යෝග්‍යයි. මේ සදහා කහ පැහැති ගෙඩි සෑදෙන, ආලංගා නමින් හදුන්වනු ලබන වැල් දොඩම් වර්ගයේ බීජපැල ග්‍රාහක ලෙස යොදා ගත හැකි වේ. මෙම බද්ධ පැල කද පාමුල කුණුවීම රෝගයට ඔරොත්තු දේ.


කද පාමුල කුණුවීම


2. බීජ මගින් වැල් දොඩම් පැල සාදා ගැනීම

මේ සදහා පළමුවෙන්ම, වැලි, මතුපිට පස් සහ කොම්පෝස්ට් සමාන ප්‍රමාණවලින් ගෙන එකට මිශ්‍ර කර තවානක් සකසා ගත යුතු වෙනවා. බීජ අතර පරතරය සෙ.මී. 1 ක් ද පේලි අතර පරතරය සෙ.මී. 5 ක් ද ගැඹුර සෙ.මී . 1 ක් ද වන සේ බීජ තවාන් කරන්න. තවානට දිනපතා ජලය සපයන්න. සති 3 දී පමණ බීජ පැල වේ. පැල සෙ.මී 10 ක් පමණ වැඩුණු විට තවානෙන් ගලවා  සෙ.මී. 12 ක් උස, සෙ.මී. 8 ප්‍රමාණයේ පොලීතීන් බදුන් වල සිටුවන්න. ඉහත වගා මාධ්‍යම මේ සදහාත් යොදා ගන්න. පැල සෙ.මී.20 ක් පමණ වූ විට කේෂ්ත්‍රයේ සිටුවිය හැකි වේ.




3. පැල සිටුවීම

දිග,පළල සහ උස අඩි 2 ක් පමණ වන සේ වලවල් කපා ගන්න. පැල අතර මීටර 2 ක්ද, පේලි අතර මීටර 4 ක් ද වන සේ වලවල් අතර පරතරය තබාගන්න. එක් වලකට ටීඑස්පී පොහොර ග්රෑම් 500 ක්ද, මැග්නීසියම් සල්පේට් ග්රෑම් 80 ක්  යොදා පස් සමග කලවම් කරන්න. ඉන් පසු පැල සිටුවන්න. පැල දෙකක් අතර ලී හෝ සිමෙන්ති කනු සිටුවා මීටර් දෙකක් උසින් ගේජ් 14 කම්බ් අදින්න.



4. පොහොර යෙදීම

වැඩෙන පැල සඳහා, කදේ සිට අඩියක් පමණ ඈතින් මාස හතරෙන් හතරට එක් පැලයකට පහත සඳහන් පොහොර යොදන්න. වැඩෙන පැල සඳහා යූරියා ග්රෑම් 30 ක්, ටීඑස්පී ග්රෑම් 30 ක් සහ එම්ඕපී පොහොර ග්රෑම් 20 ක් යොදන්න. වැල් කම්බිය තෙක් වර්ධනය වූ විට යූරියා ග්රෑම් 45 ක් , ටීඑස්පී ග්රෑම් 45 ක් එම්ඕපී ග්රෑම් 30 ක් යොදන්න. ඵල දරන වැල් සදහා මාස හයෙන් හයට යූරියා ග්රෑම් 200 ක්, එම්ඕපී ග්රෑම් 100 ක් යොදන්න. පත්‍ර කහ පැහැ වේ නම්, මැග්නීසියම් සල්පේට් ග්රෑම් 5 ක් සහ සින්න් සල්පේට් ග්රෑම් 3 ක් වතුර ලීටරයක දියකර පත්‍ර මතට ඉසින්න.



5. වැල් පුහුණු කිරීම

කම්බිය දක්වා ලපටි වැල් වැඩීමට, කෝටු හෝ නූල් වැනි ආධාරකයක් යොද ගන්න. තනි කදක් සේ වැඩීමට පාර්විකව හට ගන්නා රිකිලි ඉවත් රන්න. වැල් කම්බිය දක්වා වර්ධනය වූ විට අග රිකිල්ල කඩා දමන්න. අංකුර දෙකක් කම්බියේ එතෙමින් දෙපසට වැඩීමට සලස්වන්න. ආධාරක කණු තෙක් වැල් වැඩුනු පසු අග රිකිලි ඉවත් කරන්න. එවිට පාර්වික අංකුර පහළට වැඩීමට පටන් ගනී. බිම ගෑවෙන වැල් අඩියක් පමණ උසින් කපා දමන්න.




6. ජල සම්පාදනය

වියළි කාලයේ දී, දිනට එක් වැලකට ජලය ලීටර් 60 ක් පමණ අවශ්‍යයි.




7. අස්වැන්න නෙළීම

පැල සිටුවා මාස 10 කින් පමණ පළමු අස්වැන්න ලබා ගත හැකිය. වසරකට වැලකින් කිලෝ 20-25 ක් පමණ නෙළා ගැනීමට හැකියි. ගෙඩි හොදින් දම් පැහැ වූ විට කඩා ගන්න.




No comments:

Post a Comment