Sunday, November 6, 2016

ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීම සහ කප්පාදු කිරීම

ආචාර්ය පී.ඩී. අබේතිලකරත්න



ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීමේදී හොදින් හිරුඑළිය වැටෙන සේ ගසේ වියන කේතුවක ආකාරයට සකසා ගත යුතු වේ. පුහුණු නොකල ගස්, අවුරුදු 5 කින් පමණ පසු පුහුණු කිරීමට යෑමෙන් අස්වනු හානියක් සිදු වේ. ගස මේරීම සිදුවන තෙක් පුහුණු කිරීම අවශ්‍යයි.



ඵල නොදරන ගස් පුහුණුව හා කප්පාදුව

 ගස් කප්පාදුව නිසා මල් හට ගැනීම ප්‍රමාද වේ. එම නිසා මෙම කාලායේ දී අනවශ්‍ය අතු ඉවත් කිරීම සිදු කරයි.



පළමු වර්ෂයේදී

පැලයේ අඩියක් පමණ උසින් කපා දමන්න . බිම සිට අඟල් 24-26 ක් උසින් ඇතිවන රිකිලි ඉතිරි කර ඊට ඉහළින් සහ පහළින් ඇති අතු ඉවත් කරන්න. මීට ඉහලින් සහ පහළින් පමණක් ත්නම් අතු සියල්ල ඉවත් කර නැවත අඩියක් පමණ උසින් කඳ කපන්න. වැඩුණු අතුවල 1/3 පමණ අග කොටස කපා දමන්න. අඟල් 24-40 වඩා පහලින් හෝ ඉහළින් පිහිටි අතු ඉවත් කරන්න.
කඳ කැපූ ස්ථානයට අඟල් 4-8 ක් පමණ පහළින් වැඩෙන හොඳ රිකිල්ලක් තෝරා ඉහලට වැඩීමට සලස්වන්න. ප්‍රධාන කඳට පටු කෝණයකින් සම්බන්ධවන අතු ද ඉවත් කරන්න. මේවා අඟල් 3-6  ක් පමණ වන විට ඉවත් කිරීම සුදුසුය. කඳේ අඟල් 18 ක් පමණ පහළින් පිහිටි රිකිලි ද ඉවත් කරන්න. ප්‍රධාන කඳට හා අතු අතර කුඩා ලී පටි හෝ ටූත් පික් රැදවීමෙන්, අතු විහිදා වැඩීමට සැලැස්විය හැකි වේ. අතුවලට නූල් හෝ වයර් බැද, කූඤ්ඤවලට තබා ගට ගැසීමෙන්, අතු ප්‍රධාන කඳ සමඟ අංශක 40-60 ක් පමණ තිබෙන සේ විහිදී වැඩීමට සැලැස්විය හැකි වේ.



දෙවැනි වර්ෂයේදී

ප්‍රධාන කඳේ හා අතු වලින් සිරස්ව වැඩෙන අඟල් 4-5 දිග වැඩිපුර රිකිලි ඉවත් කරන්න. ඉතිරිවන අතු වලට ටූත් පික් රැදවීමෙන් විහිද වැඩීමට සැලැස්විය හැක. ප්‍රධාන කඳ සමඟ පටු කෝණයකින් සම්බන්ධවන අතු ඉවත් කරන්න . ඉහලට වැඩීමට සැලැස්සූ අත්තේ 1/4 - 1/3 ක කොටසක් ඉහළින් කපා දමන්න.



තුන්වන වර්ෂයේදී

දෙවැනි වර්ෂයේදී මෙන් කප්පාදු කරන්න. තිරස්ව වැඩෙන දිය රිකිලි ඉවත් කරන්න.



හතර වැනි වර්ෂයේදී

සෙමෙන් වැඩෙන, පැන්සලක පමණ මහතට අඩු හෝ දිග අඟල් 18 ට අඩු දි රිකිලි ඉතිරි කල හැකි වේ. සිරස් අතට වැඩෙන අතු පහත් කර නූල්වලින් ගැට ගැසීම  සිදු කෙරේ.



පස්වැනි වර්ෂයේ සිට

ප්‍රධාන කඳ කෙරෙහි සහ ගසේ මුදුන කෙරෙහි එතරම් අවධානයක් අවශ්‍ය නැත. කෝණාකාරව ගසේ වියන සකසා ගත යුතු වේ. ගසේ මුදුන, අළුත් පැලයක් සේ සලකා පුහුණු කිරීම වැදගත්. ගසේ ඉහළ අර්ධයේ පිහිටි ඉක්මනින් වැඩෙන අතු ඉවත් කිරීමෙන් මුදුන පටු ලෙස සකසා ගත හැකි වේ. ඉහලට වැඩීමට හරින ලද කඳේ කොටසක් කැපීමෙන් උස පාලනය කල හැකිය. අතු කැපීමේ දී කුඩා කොටසක් ඉතිරිවන අයුරින් කැපීමෙන් , එම ස්ථාන වලින් අළුත් රිකිලි හට ගැනීම සිදු වේ.



මේරූ ගස් කප්පාදුව


අඩු අස්වැන්නක් තිබීම, නයිට්‍රජන් පොහොර සහ කප්පාදුව නිසා ගසේ වර්ධනය වේගවත් වේ. දැඩි කප්පාදුවකට පෙර නයිට්‍රජන් පොහොර අඩු කරන්න. සිරස්ව උඩට වැඩෙන අතු, තිරස් අතුවලට තබා ගැට ගසන්න. 

No comments:

Post a Comment